01. cleaning day
හිරුනි, සාමාන්‍ය පෙනුමකින් යුතු විසි හැවිරිදි යුවතියකි. සරසවි වරම් ලැබීමට තරම් උ.පෙළ ප්‍රතිපල නොවූ නිසා ඇය ඒ වන විට උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටියාය. ඇගේ දෙමව්පියන් විදෙස් ගත වී සිටි අතර නිවසේ සිටියේ ඇයත් ආච්චීත් පමණි. හිරුනිගේ පෙම්වතා සාර්ථක ව්‍යාපාරයක හිමි කරුවෙක් විය. ඔවුන් තවත් වසරකින් විවාහ වීමට නියමිතව තිබුණි. මේ සියල්ල නිසා ඇගේ ජීවිතය සරල, නිස්කලංක එකක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.
එහෙත් ඔබත්, මමත් ඇතුළු අප සියළු දෙනාට මෙන්ම ඇයටත් සඟවන්නට රහසක් තිබුණි. වළ දැමූ අතීතයක් තිබුණි. අමතක කරන්නට උත්සාහ කළ මතක තිබුණි. කොතරම් උත්සාහ කළත් එවැනි මතක විටින් විට හිත මත්තට පැමිණීම නොවැලැක්විය හැකි ව්‍යසනයකි. විශ්ෂයෙන්ම තනි වූ විටදී.
එම ඉරිදා නිවාඩු දිනයේ හිරුනි නිවසේ තනි වූයේ ඇගේ ආච්චි නෑදෑ ගෙදරක ගොස් සිටි නිසාය. කිරීමට කියා විශේෂ කිසිවක් නොවූ හිරුනි ඇගේ කාමරය පිරිසිදු කිරීම ට පටන් ගත්තාය. සතියක කුණු එකතු වූ කාමරය එකම අවුල් ජාලයකි.
කෙසේ හෝ පැය භාගයකට වඩා දාඩිය පෙරාගෙන කළ මෙහෙයුමකට පසුව යන්තම් එය මිනිස් වාසයක් කර ගැනීමට හිරුනිට හැකි විය. හිරුනි ඇඳ යටට එබුනේ පසුගිය සතිය පුරාම නැතිවී ඇතැයි සිතා සිටි කොණ්ඩ කටු දෙකක් එහි තිබීම නිසාය. කොණ්ඩා කටුව ගැනීමට ඇඳ යටට එබුනු ඇගේ අවධානය වෙනතකට යොමු කරමින් දූවිලි වැකුණු පරණ පෙට්ටියක් ඇගේ අතේ හැපුණි.
"මොන.....?" ඇය සිතින් බැන වදිමින් පෙට්ටිය පිටතට ඇද්දාය. එය ඇගේ සිහිවටන පෙට්ටියයි. පරණ සපත්තු පෙට්ටියක් වූ එහි තිබුණේ තවදුරටත් ඇය පාවිච්චි නොකරන එහෙත් විසි කිරීමට ලෝබ හිතෙන පරණ බඩුය.
අස් කිරීම පසෙක තැබූ ඈ, කාමරය මැද බිම එරමිණිය ගොතාගෙන වාඩි වී දූවිලි පෙට්ටිය විවෘත කළාය. පරණ කීටැග් එකක්, හිස් නේල් පොලිෂ් බෝතල්, උපන්දින සුභපැතුම් පතක්, පරණ ලිප්ස්ටික්, කොණ්ඩ කටු, කැඩුණු ෆෝන් එකක් ආදී විවිධ ලට්ට පට්ට එකින් එක ඉවතට අදිමින් ඇය ඒවා හා බැඳුණු පැරණි මතකයන් යළිත් රස වින්දාය.
මතකයන්ගේ ගිලෙමින් සිහිවටන පෙට්ටිය අවුස්සමින් සිටින විට ඇගේ ඇඟිලි තුඩට තියුණු වේදනාවක් දැනුනෙන් වහා සිය අත ඉවතට ඇද ගත්තාය. ස්වයංක්‍රීයව ඇගේ ඇඟිල්ල ගියෙ මුව තුලටයි.
"ෂිට්" හිරුනි ඇඟිල්ල පරීක්ෂා කර බලන විට ඉතා කුඩා කැපුමක් දුටුවාය. එයින් ලේ ස්වල්පයක් ගලමින් තිබුණි. ඇගිල්ල හැඳ සිටි කලිසමේ පිස ගත් ඈ ඊ ළඟට විමසිලිමත් වූයේ තුවාලය සිදු වූයේ කුමකින්ද කියා දැන ගැනීමට යි.
එය පරණ සුළං මිණි වැලකි (wind chime). එය දැකීමෙන් තුවාලයේ වේදනාව අමතක වූ හිරුනි එය පරිස්සමට පිටතට ඇද්දාය. එහි නූල් පැටලී තිබුණි. ඈ ඉතා සීරුවෙන් එහි පැටළුම් එකිනෙක ලිහා දැමුවාය.
වින්ඩ් චයිම් එක ඉහලට කර මූණ ඉදිරියෙන් එල්ලාගෙන ඈ මොහොතක් එදෙස බලා සිටියාය. රෝස පැහැති වීදුරු රවුමේ සර්පිලාකාරාව එල්ලුණු වීදුරු සමනළයින් ගේ හිරු එළිය වැදී දේදුනු රටා මැවීය. උන්ගෙන් එක් සමනලයෙකුගේ තටුවක් බිඳී ගොසිනි. ඇඟිල්ල කැපුනේ එයින් බව හිරුනිට වැටහුනි.
Bạn đang đọc truyện trên: Truyen2U.Com